වර්ෂ 2023 ක්වූ October 04 වැනිදා Wednesday
රන් ආකාරය සොයා ගිය ත්‍රාසජනක ගමන

ජේ. ලී. තොම්ප්සන් තම සිනමා අධ්‍යක්ෂණය ආරම්භ කළේ 1950 වසරේදීය. ඒ 'මර්ඩර් විතවුට් ක්‍රයිම්' නම් චිත්‍රපටය සමඟින්ය. එහෙත් අප ඔහුගේ චිත්‍රපටයක් නැරඹුවේ 70 දශකයේ මැද භාගයේ දී ය. ඒ 1961 වසරේ ඔහු විසින් අධ්‍යක්ෂණය කළ 'ගන්ස් ඔෆ් නැවරෝන්' චිත්‍රපටයය. ඒ වන විටත් ඔහු චිත්‍රපට 20-25ත් අතර සංඛ්‍යාවක් අධ්‍යක්ෂණය කර තිබුණද, ඔහු අන්තර්ජාතික සිනමාවට නිසි අන්දමට අවතීර්ණ වූයේ 'ගන්ස් ඔෆ් නැවරෝන්' චිත්‍රපටය මගිනි. එය එම වසරේ ඇමරිකානු ඇකඩමි සම්මාන උලෙළෙදී හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂ ඇතුළුව සම්මාන 7 කට නිර්දේශ විය. එලෙසම එම වසරේ දෘශ්‍ය ප්‍රයෝග සඳහා සම්මානය දිනා ගතී. 'ගන්ස් ඔෆ් නැවරෝන්' ගැන මින් පෙර මෙම ලිපි මාලාවට ලියා ඇති හෙයින්,ද එසේම ජේ.ලී. තොම්ප්සන් ගැනද ලියා ඇති හෙයින්, ඔහුව යළි හැඳීන්වීමේදී මෙම කරුණු සෑහෙනු ඇත.
'මැකෙනාස් ගෝල්ඩ්' චිත්‍රපටය හැත්තෑ දශකයේ මුල් භාගයේදී ලංකාවේ තිර ගත කළේ කොළඹ, බම්බලපිටියේ එවකට තිබූ මැජෙස්ටික් සිනමා ශාලාවේය. මෙහී විශේෂත්වය වූයේ එය මිලි මීටර් 70 ප්‍රමාණයේ දැවැන්ත තීරයේ පෙන්වීමය. එවකට කොළඹ මිලි මීටර් 70 ව ප්‍රමාණයේ චිත්‍රපට පෙන්වීමට හැකියාව තිබුණේ ශාලා 3 ක් පමණි. ඒ කොල්ලුපිටියේ ලිබර්ටි සිනමා ශාලාව, කොම්පඤ්ඤවීදියේ රියෝ සිනමා ශාලාව හා බම්බලපිටියේ මැජෙස්ටික් සිනමා ශාලාවය. ලංකාවේ ප්‍රථම මි.මී. 70 දැවැන්ත තිරයක් සහිත ශාලාව වූයේ කොම්පඤ්ඤවීදියේ රියෝ සිනමා ශාලාවය. එය 1965 වසරේ විවෘත වූ අතර මි.මි. 70 තිරයට අමතරව, ටොඩ්- ඕ- ශබ්ද හදුන්වා දීමද මේ සමඟින් සිදු විය. රියෝ සිනමා ශාලවේ තිරගත වූ මි.මි. 70 චිත්‍රපට වූයේ 'සවුත් පැසිෆික්', 'ද ඇලමෝ', 'කැන් කැන්', ' හා 'ද සවුන්ඩ් ඔෆ් මියුසික්ය',
පසුව කොල්ලුපිටියේ ලිබර්ටි සිනමා ශාලාවද මෙම මිමි70 දැවැන්ත තිරය ස්ථාපිත කළහ. 'ද ටෙන් කමන්ඩ්මන්ට්ස්', 'ක්ලියෝපැට්රා', 'මේරි පොපින්ස්' 'මයි ෆෙයාර් ලේඩි', 'බයිබල් ඇන්ඩ් ද බිගිනින්', වැනි චිත්‍රපට මිමි 70 තාක්ෂණයෙන් එහී තිරගත විය. බම්බලපිටියේ මැජෙස්ටික් සිනමා ශාලාවද, මිමි 70 තාක්ෂණය ට හැරී තිබුණි. 'ග්‍රෑන්ඩ් ප්‍රික්ස්', 2001 අ ස්පේස් ඔඩිසි', 'පැටන්' 'ලෝඩ් ජිම්' වැනි චිත්‍රපට මෙම මිමි 70 තාක්ෂණයෙන් පෙන්වා තිබුණි. 'මැකෙනාස් ගෝල්ඩ්' ද මිමි 70 ප්‍රමාණයෙන් පෙන්වූයේ ද මැජෙස්ටික් සිනමා ශාලාවේමය.
එදා 'ගන්ස් ඔෆ් නැවරොන්' හී රඟපෑ ග්‍රෙගරි පෙක් මෙන්ම 'ඩොක්ටර් ශිවාගෝ' චිත්‍රපටයේ රඟපෑ ඔමාර් ෂෙරිෆ් සමඟ 'මැකෙනාස් ගෝල්ඩ්' හී රඟපෑ අනෙක් නළුවා වූයේ 'ටෙලි සවාල්ස් ය.
සාජන්ට් ටිබ්ස් ගේ චරිතයටය මෙහි ටෙලි සවාල්ස් පණ පෙව්වේ. 1922 ජනවාරි 21 වැනි දින ඇමරිකාවේ නිව්යෝක් නගරයේ ගාඩන් සිටි හී උපත ලද ටෙලි සවාලස් ඇමරිකානු සිනමාවට පැමිණ ඇත්තේ 1961 වසරේදීය. ඒ 'මෑඩ් ඩෝග් කොල්' නම් වූ චිත්‍රපටයෙනි. එය ටෙලී ගේ පළමු චිත්‍රපටය සේම, පසු කලෙක ලෝ පතළ නළුවෙකු වූ ජීන් හැක්මන්ගේ ප්‍රථම චිත්‍රපටය වූයේද, මේ 'මෑඩ් ඩෝග් කොල්ය'
1962 වසරේදී තිරගත කළ 'කේප් ෆියර්' චිත්‍රපටයේ රහස් පරීක්ෂක චාර්ල්ස් සීවර්ස් ලෙස කැපී පෙනන චරිතයක් රඟපෑ ටෙලී, එම වසරේම 'බර්ඩ්මන් ඔෆ් අල්කට්‍රාස්' හී රඟපෑ 'ෆෙටෝ ගොමෙස්', ගේ චරිතයට ඔහු ඇමරිකානු ඔස්කාර් ඇකඩමි සම්මාන උලෙළෙ හොඳම සහය නළුවා ලෙස නිර්දේශ විය. 1965 දී 'ද ග්‍රේටස්ට් ස්ටෝරි එවර් ටෝල්ඩ්' නම් චිත්‍රපටයේ ඔහු පොන්ටියස් පිලාත් ගේ චරිතය රඟපෑමෙන් වඩාත් ජනප්‍රිය විය. 'ජෙන්ජිස් කාන්' චිත්‍රපටයේ 'ශාන්' ලෙසත්, 'බැටල් ඔෆ් බල්ග්' චිත්‍රපටයේ සාජන්ට් ගෆී ලෙසත්, 'ද ඩර්ටි ඩසන්' චිත්‍රපයේ ආචර් මැගොට් ලෙසත් කළ රඟපෑම් කිසිවකට අමතක වූයේ නැත. 1968 වසරේ විකට ශානරයේ චිත්‍රපටයක් වූ ' බොනා සේරා මිසිස් කැම්ප්බල්' චිත්‍රපටයේ වෝල්ටර් බ්‍රැඩොක් නම් චරිතය ඔහු රඟපෑවේ ජිනා ලොලොබ්‍රිජිඩා සමඟය.
'මැකෙනාස් ගෝල්ඩ්' ඔහු රඟපෑ 22 වන චිත්‍රපටය විය. ඉන්පසු ද ටෙලි සවල්ස් රඟපෑ චිත්‍රපට ගණනාවක්ම ජනප්‍රිය විය. ඒවා බොහෝමයක් ලංකාවේද ප්‍රදර්ශනය කරන්නට විය. 'ද ස්කල්පන්ටර්ස්', 'ඔන්හර් මැජෙස්ටි සීක්‍රට් සර්විස්', 'ලෑන්ඩ් රෙයිඩස්', 'කෙලීස් හීරෝස්', 'අ ටවුන් කෝල් බාස්ටඩ්' 'හොරර් එක්ස්ප්‍රස්', 'පන්චොවිලා', ලංකාවේ ප්‍රදර්ශනය වූ චිත්‍රපට යන්ය.
ටෙලි සවාල්ස්ගේ විශේෂත්වය වූයේ ඔහුගේ තට්ට හිසය. එය ඔහුට අනන්‍යතාවයක් ගෙන දුනී. යූල් බ්‍රයිනර්ටද ඔහුගේ මුඩු හිස වාසනාව ගෙන ආවේය. ටෙලි සවාල්ස් ටද එය එසේ විය. 'ඔන් හර් මැජෙස්ටි සීක්‍රට් සර්විස්' වැනි ජේම්ස් බොන්ඩ් චිත්‍රපටයේ ප්‍රධාන දුෂ්ටයාගේ චරිතය ඔහුට ලැබීමට විශේෂයෙන් බලපෑවේ ඔහුගේ තට්ට හිසය.
'මැකෙනාස් ගෝල්ඩ්' හී තිරනාටකය ලීවේ ඇමරිකානු තිරනාටක රචක කාර්ල් ෆෝමන් ය. ඔහු ගැන මා මීට පෙර අවස්ථා කීපයක මේ ලිපි මාලාවේ ලියා තිබේ. ඒ 'බ්‍රිජ් ඔන් ද රිවර් ක්වයි', 'ද ගන්ස් ඔෆ් නැවරෝන්' චිත්‍රපට ගැන ලියන විටය. ඒ එම චිත්‍ර පට යුගලේද තිර නාටකය ලියා තිබුණේ කාර්ල් ෆෝමන් නිසාය. 'බෝර්න් ෆ්‍රී', 'ලිවින් ෆ්‍රී', 'ෆෝස් 10 ෆ්‍රොම් නැවරෝන්', 'වෙන් ටයිම් රෑන් අවුට්', 'හයි නූන්' වැනි චිත්‍රපට ද ඔහු විසින් තිර නාටකය ලියූ විශිෂ්ටත්වයට පත් වූ චිත්‍රපටය න්ය.
'මැකෙනාස් ගෝල්ඩ්' ඇමරිකානු ලේඛක, තිර රචක විල් හෙන්රි විසින් 1963 වසරේ එම නමින්ම ලියූ නව කථාවක් පාදක කරගෙන නිර්මාණය වූ චිත්‍රපටයක් විය. තිර රචනය ලියූ කාල් ෆෝමන් ම මේ චිත්‍රපටයේ නිෂ්පාදකයා වූ අතර, ඩිමිත්‍රි ටියොම්කින් කාල් ෆෝමන් සමඟ මේ චිත්‍රපටය නිෂ්පාදනය කිරීමට හවුල් විය.
චිත්‍රපටයේ නළු නිළි ලැයිස්තුව දෙස බලන විට, ලෝ පතළ කීර්තිමත් නළු නිළියන් කීප දෙනෙක්ම මෙහි රඟපා තිබුණි. ග්‍රෙගරි පෙක්, ඔමාර් ශෙරීෆ්, හා ටෙලි සවාලස් ට අමතර ව, එලී වොලච්, ලී ජේ කොබ්, ඇන්තනී කුයෙල්, ටෙඩ් කැසිඩි, කැමිලා ස්පාරි, ජූලි නිව්මාර් වැනි අය ඒ අතරේ විය.
අධ්‍යක්ෂක ජේ ලී තොම්ප්සන් මුලින්ම මෙම චිත්‍රපටයට කොන්ත්‍රාත්තුව අත්සන් කර ගත්තේ ඔමාර් ශෙරීෆ් ගෙන්ය ශෙරීෆ් එය අත්සන් කළේ ඇමරිකානු ඩොලර් ලක්ෂ 4 කටය. එය එකල හැටියට විශාල මුදලක් විය.
ඔමාර් ශෙරිෆ් මෙම කොන්ත්‍රාත්තුව අත්සන් කරන අතරේදී කීවේ ඔහු මෙහී රඟපෑමට භාර ගත්තේ තම පුත්‍රයා නිසා කියාය. ඒ, ඔහුගේ පුත්‍රයා ක්‍රියා දාම චිත්‍රපටවල රඟපෑමට ප්‍රිය වූ නිසාත්, තම පියා ක්‍රියාදාම චිත්‍රපටවල රඟපානවා දැකීමට ඔහු ප්‍රිය කළ නිසාත් ය.
අධ්‍යක්ෂක තොම්ප්සන් මෙහී ප්‍රධාන චරිතය වූ 'මැකෙනා' ගේ චරිතයට මුලින්ම තෝරා ගත්තේ 'ක්ලින්ට් ඊස්ට්වුඩ්' ය. ඒ වන චිට ක්ලින්ට් ඩොලර් චිත්‍රපටවල රඟපා ඉහළ ජනප්‍රියත්වයක් ලබා තිබුණි. ක්ලින්ට්, කාල් ෆෝර්මන් ලියූ තිර නාටකය කියවූ පසු, මෙහී රඟපෑමේ අදහස අත් හැර දමා ඔහුට ලැබුණු 'හැන්ග් දෙම් හයි' චිත්‍රපටයේ ප්‍රධාන චරිතය භාර ගතී. ඔහු කිවේ 'මැකෙනාස් ගෝල්ඩ්' තිර රචනය තමාගේ සිතට කිසි සේත්ම ප්‍රිය නොවූ බවකි. පසුව එය රිචඩ් බර්ටන් අතට පත් විය. ඔහු එය කියවා බලා කීවේ, මෙම චරිතය තමාට කිසිසේත් නොගැළපෙන බවත්, මෑත කාලයේදී ඔහු කියවූ දුර්වලම තිර නාටකය මෙය බවත්ය. ඉන්පසු මෙම චරිතයට ස්ටීව් මැක්වීන් නම් ජනප්‍රිය නළුවාව තෝරා ගන්නට අදහස් කළද, එය ද සාර්ථක වූයේ නැත.
එම අවුරුද්දේ මාර්තු මාසයේදී අධ්‍යක්ෂක ජේ.ලී. තොම්ප්සන් නිල වශයෙන් ප්‍රචාරය කළේ මෙහී මැකෙනාගේ චරිතයට 'ග්‍රෙගරි පෙක්ව' තෝරා ගත් බවය. ග්‍රෙගරි පැක් ජේ ලී. තොම්ප්සන් හා තිර රචක කාල් ෆෝමන් සමඟ මීට පෙර වැඩ කර තිබුණි. ඒ 'ගන්ස් ඔෆ් නැවරෝන්' චිත්‍රපටයේය
'මැකෙනාස් ගෝල්ඩ්' චිත්‍රපටයේ සංගීතය භාර කළේ ක්වින්සි ජෝනස් ටය. අවුරුදු 72 ක සංගීත දිවියේදී ග්‍රැමි සම්මාන 80 කට නිර්දේශ වූ, සම්මාන 28ක් දිනා ගත්, එමෙන්ම ග්‍රැමි ලෙජන්ඩ් සම්මානයටද හිමි කම් කී ක්වින්සි ජෝනස් මයිකල් ජැක්සන් ගේ 'ඕෆ් ද වෝල්' ' ත්‍රිලර්', 'බෑඩ්' යන ගීත මෙන්ම, එම ඇල්බම් හා ලොව ආධාර (චැරිටි) ගීතයක් සේ සලකන 'වී ආර් ද වර්ල්ඩ්' ගීතයද නිර්මාණය කෙරීය. ක්වින්සි ජෝනස්, 'බැනින්ග්', 'ඉන් ද හීට් ඔෆ් ද නයිට්', 'ඉන් කෝල්ඩ් බ්ලඩ්', 'ජිග්සෝ', ද හෙල් විත් හීරෝස්' 'ද ස්පිලට්', 'ද ඉටලියන් ජොබ්', ' ද ලොස්ට් මෑන්', වැනි ලොව විශිෂ්ට වූ චිත්‍රපට රාශියක සංගීතය සපයා තිබුණි.
ඇමරිකානු ඩොලර් මිලියන 7 ක ඇස්තිමේන්තුවකින් නිර්මාණය කළ , එමෙන්ම මුල් වටයේම ඇමරිකානු ඩොලර් මිලියන 41 ක බොක්ස් ඔෆිස් ආදායම් ලැබූ 'මැකෙනාස් ගෝල්ඩ්' කථාව ඇරඹුණේ මෙසේය .
කඳු වලින් වටවුණු වැලි කාන්තාරයක් වැනි ප්‍රදේශයක කාෂ්ඨක අව්වේ අසු එළව යන, මාර්ෂල් වරයෙකි. එම මාර්ෂල් වරයාව ඉලක්ක කරමින් අසු පිට නැගී මුවා වෙමින් තම තුවක්කුව එල්ල කර ගෙන සිටින රතු ඉන්දියානු කරුවකුගේ හැඩ තල ඇති මහලු එහෙත් ප්‍රථාපවත් මිනිසෙකි. ඔහු 'ප්‍රයිරි ඩෝග්'ය. අශ්වයා පිට නැගී ආ මාර්ෂල් වරයා සෑම් මැකෙනා ය.
එක්වරම ප්‍රයිරි එල්ලය බලා මැකෙනාට වෙඩි තැබුවද, එම වෙඩිල්ල වැදුණේ මැකෙනාගේ අශ්වයා ටය. අශ්වයා මැකෙනාත් සමඟ බිම ඇඳ වැටුණි. මැකෙනා වහා ආරක්ෂක ස්ථානයකට දුව ගොස් සැඟවුණේ අනතුර තවමත් තම පසු පස ඉව අල්ලන බව දැනුණු නිසාය. ඉන්පසු ඔහු කළේ තමා ළඟ තිබූ මත් පැන් දමා ආ හිස් පොඩි බෝතලයක් විසි කිරීමය. ඒ උපක්‍රමශීලිව ප්‍රයිරි සිටින තැන හරියටම දැන ගන්නටය. ප්‍රයිරි ඒ උගුලට අසුවිය. බෝතලය වැටෙන ශබ්දයට ප්‍රයිරි වෙඩි තබන්නට වූ අතර, ඒ වෙඩි ශබ්දයෙන් ප්‍රයිරි සිටින තැන මැකෙනා හරියට ම තහවුරු කර ගතී. ඔහු එතැනට එල්ලය බලා වෙඩි තැබීය. එය කෙළින්ම ප්‍රයිරි පපුව පැත්තට වැදුණි. ඔහු එක්වරම මිය ගියේ නැත. එහෙත් ඔහු අඩපණ විය. මැකෙනා වහා ඔහු ළඟට ගොස් වෙඩි වැදුණු තැන පරික්ෂා කර, එයට අවශ්‍ය පිළියම් කරන්නට විය. ප්‍රයිරි රත්තරන් ආකාරයක් ගැන කථාවක් කීවේ ඒ අතරේදීය.
එය මෙසේය. 'කැන්යෝන් ඔෆ් ගොල්ඩ්' එනම් රත්තරන් ආකරයක් එක්තරා තැනක 'අපාචි' කෙනෙකුගේ අදෘශ්‍යමාන බලවේගයක් විසින් පාලනය කරමින් තිබුණි. ඇඩම් නම් පුද්ගලයකුට මෙම ස්ථානය හමුවී තිබුණේ ඔහුගේ යොවුන් කාලයේදීය. එය දැනගත් ඇමරිකානුවන් කීප දෙනෙක් ඇඩම්ව අන්ධ කර තිබුණි. මෙය පාලනය කරන අදෘශ්‍යමාන බලවේගය ගැන දන්නේ ඇඩම් බවද, ඔහු දැන් ජෝන් කොලරාඩෝගේ කණ්ඩායමට එකතු වී ඇති බවක් ය ප්‍රයිරි කීයේ. මෙතැනට යන ආකාරය ප්‍රයිරි ඩෝග් දන්නා බවක් මැකෙන්ට වැටහී ගියේය. ඔහු ඒ ගැන කියන්නට ප්‍රථම මිය ගියේය. මැකෙනා විසින් ඔහුව ජිවත් කරවන්නට ගත් හැම උත්සහයක්ම ව්‍යවර්ථ විය. ඉන් පසු ඔහු ප්‍රයිරි ගේ සාක්කු පරික්ෂා කර බලන විටය ඔහුට කිසියම් සැලැස්මක් ලැබුණේ. ඒ සැලැස්ම අර රන් ආකාරයට යන අන්දම සඳහන් වූවකි. මැකෙනා එය තම සිතේ හොඳ හැටි ධාරණය කර ගෙන එම සැලැස්ම එතැන තිබෙන ගිනි ගොඩට දැම්මේ එය අළු දූවිලි කිරීමටය.
මැක්සිකන් ජාතිකයකු හා කල්ලි නායකයකු වූ 'ජෝන් කොලරාඩෝ' සහ ඔහුගේ කල්ලියද, ප්‍රයිරි ඩෝග් පසු පස පැන්නුවේද, මෙම සැලැස්ම ගැනීමටය. කොලරාඩෝ පසු පස පැන්නුවේ බෙන් බේකර් ගේ කණ්ඩායමය. බෙන් බේකර් සූදු අන්තුවෙකි. ඔහු කොලරාඩෝ ගැන හොඳීන් දන්නා කෙනෙකි. එදා නගරයේදී බෙන් බේකර්ගේ හා කොලරාඩෝගේ මිනිසුන් එකට මත් පැන් ගන්නා විට කොලරාඩෝ ඇතුළු කල්ලිය රන් ආකරය සොයා යන බවක් ඔවුන්ගෙන් කියවුනි. බෙන් බේකර් ඔහුගේ කල්ලියත් සමඟ කොලරාඩෝගේ කල්ලිය පසු පස එලවූවේ ඒ නිසාය. එතැන අන්ධ ඇඩම් ද සිටියේය. කෙසේ හෝ ඔවුන් එකට එකතු වී රත්තරන් ආකරය සොයා යෑමට එකඟ විය. එහෙත් මැකෙනා බෙන් බේකර්ට කීවේ කොලරාඩෝ සමඟ එකතු නොවී නැවත යන ලෙසටය. මෙතන ඇති රන් ආකරයක් නොමැති බවය මැකෙනා බෙන් බෙයාර්ට ඒත්තු ගන්වන්නට හැදුවේ. එහෙත් බෙන් බෙයාර් මැකෙනාගේ වචන ඇසුවේ නැත. ඔහු, ඔහුගේ කණ්ඩායම සමඟ කොලරාඩෝට එකතු වූයේ රන් ආකරයට ගොස් රත්තරන් ගැනීමටය.
'ඉන්ගා' මෙහි තවත් ප්‍රධාන චරිතයකි. ඉන්ගා යනු රූමත් තරුණියෙකි. ඇය විශ්‍රාම ගිය නඩුකාරවරයෙකුගේ දියණියකි. කොලරාඩෝ ට එක රැයක් තම නිවසේ සිටීමට ඉඩ දීමේ විපාකය වූයේ ඔවුන් විශ්‍රාමික නඩුකාරවරයාව මරා දමා ඉන්ගාව තම කණ්ඩායමේ හිරකාරියෙක් සේ තබා ගැන්මය.
ප්‍රයිරි ඩෝග් මිය ගිය බව දැනගත් කොලරාඩෝ, ඔහු මරා ඇත්තේ මාර්ෂල් සෑම් මැකෙනා බව ද දැනගතී. එතන තිබූ ගිනි ගොඩේ රන් ආකාරය ට යන සැලැස්මේ කුඩා කොළ කැබැල්ලක් තිබෙන බව දුටු කොලරාඩෝ මෙම සම්පූර්ණ සැලැස්ම ඇත්තේ මැකෙනාගේ මතකයේ බවද අනුමාන කළේය. එහෙයින් ඔහු මැකෙනාව තම භාරයට ගතී. මෙම රන් ආකාරයට යන අන්දම දන්නේ මැකෙනා පමණී. එයද ඇත්තේ ඔහුගේ මතකයේය. එහෙයින් මොනම හේතුවකටවත් කොලරාඩෝට මැකෙනාව මරා දැමීමට නොහැකිය. මැකෙනා මිය ගියහොත් කිසිවෙක් මෙම මාර්ගය දන්නේ නැත. එහෙයින් කොලරාඩෝ ට තමුන්ව රන් ආකාරය තිබෙන තැනට රැගෙන යන තෙක් මැකෙනාව පරිස්සම් කර ගන්නට සිදුවිය.
'හෙෂ්කි' මෙම කණ්ඩායමේ සිටින තවත් සාමාජිකාවකි. ඇය බැලූ බැල්මට රතු ඉන්දියානු පෙනුමකින් යුක්තවූ සටන් කාමී තරුණියකි. ඇය පසුපසද කිසියම් අතීත කථාවක් ගෙතී තිබුණි. හෙෂ්කි, පෙර මාර්ෂල් සෑම් මැකෙනාගේ පෙම්වතිය වී සිටියාය. කිසියම් වරදකට මාර්ෂල් මැකෙනා ඇයගේ සොහොයුරෙක්ව සිර කර තිබුණි. ඉන් පසු නඩු අසා ඔහුව වරදකරුවී එල්ලා මරා දැමීය. මරා දැමීමට පෙර ඇය මැකෙනාට කීප විටක්ම කීවේ තම සහෝදරයාව බේරා දෙන ලෙසටය. එහෙත් ඔහු නීතිය අකුරටම ක්‍රියා කළේය. මේ හේතුවෙන් හෙෂ්කි මැකෙනාගෙන් අයින් වූවා පමණක් නොව, ඔහුට වෛර කරන්නටද පෙළඹුණාය. ඉන්පසු ඇය කොලරාඩෝගේ කණ්ඩායමට එකතු විය. යලි ඇයට මැකෙනාව හමුවුණේ කොලරාඩෝ විසින් මැකෙනාව අල්වා ගත් පසුවය. ඔහුව යළි මේ අයුරින් මුණ ගැසුණු පසු, ඔහුට වෛර කරනවාද නැත්නම් ආදරය කරනවාද යන දෙගිඩියාවෙන් ඇය පසුවිය.
ඉන් පසු සියල්ලෝම රන් ආකාරය සොයා යන්නට විය. ඒ කණ්ඩායමට බෙන් බේකර් ගේ කණ්ඩායමද ඇතුළත් විය. ඔවුන් යන අතරේ අපාචි කල්ලියක් පැමිණ ඔවුන්ගේ ගමන අවහිර කර ඔවුනොවුන් වෙඩි තබා ගතී. එයින් බෙන් බේකර් කණ්ඩායමේ බොහෝ අය මිය ගිය අතර බෙන් බේකර්ටද වෙඩි වැදුණි. එයින් ඔහුද මරණයට පත් විය.
ඉන්පසු කොලරාඩෝ හා මැකෙනා යන කණ්ඩායමට මුණ ගැසුණේ ඇමරිකානු කැවල්රි කණ්ඩායම හා ඔවුනගේ නායකයා වූ සාර්ජන්ට් ටිබ්ය.
මේ සියල්ලෝම එකතුවන්නේ රන් ආකරය සොයා යන්නටය. එයා සොයා ගැන්මට ඔවුන් සියල්ලන්ටම මැකෙනා පසු පස යන්නට සිදු වූයේ එම රන් ආකාරයට යෑමට දන්නා එකම පුද්ගලයා මැකෙනා පමණක් වීම නිසාය.
එදා රිචඩ් බර්ටන් නම් වූ මහා නළුවාගේ අතට මෙම තිර නාටකය ලැබුණු පසු ඔහු කීවේ 'මෑත කාලයෙදී ඔහු අතට හමුවූ දුර්වලම තිර නාටකය 'මැකෙනාස් ගෝල්ඩ්' බවය. චිත්‍රපටය නැරඹූ කෙනෙකුට රිචඩ් බර්ටන් කියූ එම කථාව අසත්‍යක් නොවන බවක් වැටහුණේ චිත්‍රපටය නරඹන විටමය. චිත්‍රපටය පුරාවටම ප්‍රේක්ෂකයන් තදින්ම ඇඳ බැඳ තැබුවේ දැවැන්ත පසුතලයන්ය. මැකෙනාට ප්‍රයිරි ඩෝග් මුණ ගැසෙන තැන සිට රන් ආකරයට යන තෙක් චිත්‍රපටය රූ ගත කෙරී තිබුණේ පුදුමාකාර පසුතල අතරය. ඇතැම් විට මෙය මි.මි 70 ප්‍රමාණයට සිනමාවට නැගුණේද මේ පසුතල වලින් ප්‍රයෝජන ගැන්මට නිසා වන්නට ඇත. 'මැකෙනාස් ගෝල්ඩ්' චිත්‍රපටය ඇඟට දැනෙනුයේ මෙය මිමි 70 එසේ නැතිනම් 3ච් තාක්ෂණයෙන් නැරඹන විට පමණය.
චිත්‍රපටය බොහෝ විට යනුයේ එකාකාරි වූ සිදුවීම් පෙළක් යටතේය. මැකෙනා, ඉන්ගා සමඟ ප්‍රේම සම්බන්ධයක් ඇති කර ගැන්ම තුළින්ද ලොකු විශේෂත්වයක් පෙනෙන්නට නොතිබුණි. ඒ වන විට ඉන්ගා සිටියේ හෙෂ්කි යටතේය. හෙෂ්කි හැකි හැම අවස්ථාවකම ඉන්ගාට රිදවන්නට උත්සහ කළාය. ඉන්ගාව මෙම කල්ලියට එකතු කිරීම තුළ කතා රචකයා කියන්නට උත්සහා ගත්තේ කුමක්දැයි හරි හැටි වැටහෙන්නේ නැත.හේතුව ඇය මෙම කථාන්තරය තුළ අත්‍යාවශ්‍ය චරිතයක් නොවූ නිසාය. ඇයගේ චරිතයේ වටිනාකමක් වූවා නම් ඒ ඇය මැකෙනාගේ පෙම්වතිය වීම පමණි. චිත්‍රපටයේ බොහෝ ප්‍රධාන චරිත චිත්‍රපටය නිම වීමටත් ප්‍රථම මරා දමා තිබුණි. බෙන් බේකර් , සාර්ජන්ට් ටිබ්ස්, ඕල්ඩර් ඉන්ග්ලිෂ්මන්, හෙෂ්කි, එසේ අතරමගදී මරා දැමූ චරිතයන්ය. තිර රචකයා එම චරිත ප්‍රබලව පටන් ගෙන පසුව දියාරු කර, නැති කර දැමීය. එය එම චරිතවලට පණ දුන් ලොව විශිෂ්ට නළු නිළියන් වු එලි වොල්ච් ( බෙන් බේකර්), ටෙලි සවාලස් (සාර්ජන්ට් ටිබ්ස් ) ඇන්තනි කුයෙල් (ඕල්ඩ් ඉංග්ලිශ්මන්) ජූලි නිව්මාර් ( හෙෂ්කී) යන අයගේ කීර්ති නාමයන්ටද යම් පසුබෑමක් ඇති වූවා නොඅනුමානය.
කෙසේ වෙතත් අවසන් ජවනිකා පෙළ, නම් ප්‍රේක්ෂකයාට දනවන ආකාරයට ඉදිරිපත් කිරීමට අධ්‍යක්ෂක ජේ.ලී තොම්ප්සන් උත්සහ කර තිබුණි. කොලරාඩෝ, මැකෙනා ඇතුළු කණ්ඩායම, රන් ආකාරය සොයා යන විට, එය අසලට ළංවන විටම අපාචි කණ්ඩායමක් ඔවුන් පසු පස එලවන දර්ශනයත්, රන් ආකාරය දෙදරා කඳු කඩා වැටෙන දර්ශනයත්, ඒ හරහා කණ්ඩායම් වල සියලු දෙනාම මිය යන ආකාරයත් සිහිගන්වන්නේ සිසිල් බී ද මෙල් ගේ 'ටෙන් කමාන්ඩ්මන්ට්ස්' වැනි චිත්‍රපටය. 'මැකෙනාස් ගෝල්ඩ්' චිත්‍රපටයේ අවසන් දර්ශන තුළින් පමණක් ඒ ටෙන් කමන්ඩ්මන්ට්ස්' චිත්‍රපටයන් තුළ තිබූ දැවැන්ත බව, ත්‍රාසජනක බව දැනෙන්ට විය.
රන් ආකාරය පොළවටම සමතලා වූවාට පසු එම රත්තරන් දිය වී ගියේය. ඒ හෙයින් චිත්‍රපටය තුළ අවසානයට ඉතුරු වුනු තිදෙනාගෙන් එක් අයෙකු වූ කොලරාඩෝ ට රත්තරන් කිසිවක් ලැබුණේ නැත. ඔහුට ඔහුගේ කණ්ඩායමත් නැතිවිය. ඔහුට නැවත හැරී යාමට සිදුවූයේ ජීවිතය පමණක් බේරා ගෙනය. එහෙත් මැකෙනාට හා ඉන්ගාට නම් මෙම ගමනේදී අවැඩක් සිදුවී නොතිබුණු බව පෙනුණේ ඔවුන්ගේ අශ්වයන්ගේ පැති හම් සාක්කු තුළ රත්තරන් කුට්ටි හිර කර තිබුණු ආකාරය දුටු විටය.
මැකෙනාස් ගෝල්ඩ් හී ප්‍රධාන චරිතය වූ මැකෙනාගේ චරිතය රඟපෑ ග්‍රෙගරි පෙක්ගේ රංගන පරාසයට වඩා වැඩි ඉඩක් ලැබුණේ ජෝන් කොලරාඩෝ ගේ චරිතය රඟපෑ ඔමාර් ශෙරිෆ් ටය. චිත්‍රපටයේ වැඩි ඉඩකඩක් වෙන් කර තිබුණේ ඔහුටය. වැඩි දෙබස් ප්‍රමාණයක් ලැබී තිබුණේද ඔහුටය. එහෙයින් ඔහු, ප්‍රධාන චරිතය රඟපෑ ග්‍රෙගරි පැක් ව අභිභවා ගියේය.
ග්‍රෙගරි පෙක්, (මැකෙනා), ඔමාර් ශෙරිෆ් (ජෝන් කොලරාඩෝ), එලි වොල්ච් (බෙන් බේකර්) ටෙලි සවාලස් (සාර්ජන්ට් ටිබ්ස්), ජූලි නිව්මාර් (හෙෂ්කි), ඇන්තනි කුයෙල් (ඕල්ඩ් ඉංග්ලිෂ්මන්), ට අමතරව කැමිලා ස්පාර්ව් - ඉන්ගාගේ චරිතයට පණ දුනි. සෙසු චරිත ලී ජේ කොබ්, කිනන් වෙයින්, ටෙඩ් කැසිඩි, රේමන්ඩ් මැසී, එඩ්වඩ් ජී රොබින්සන්, බර්ගර්ස් මෙරිඩිත්, එඩුවාඩෝ සිනෙලී, රොබට් පිලිප්ස්, ෂෙලි මොරිසන්, වික්ටර් ජෝරි, රඟපෑහ.
'මැකෙනාස් ගෝල්ඩ්' නරඹා තිබුණා නම් හොඳ යයි සිතෙන චිත්‍රපටයකි. එහෙත් එය නැරඹිය යුත්තේ මිමි 70 දැවැන්ත තීරයේ හෝ 3ච් තාක්ෂණයෙන්ය. එම තාක්ෂණ තුළින් මෙය නැරැඹීමට නොහැකි වුවහොත් නම් චිත්‍රපටය තුළින් ලබා ගත හැකි වින්දනය ලබා ගැනීමට නොහැකි වනු ඇත.